නිවසට එන අමුත්තෙකුට සිදුකෙරන සියලු ආගන්තුක සත්කාර අතර, ඔහු එම රැඳී සිටින අවකාශය ප්‍රිය උපදවන්නේද යන්න ඉතා වැදගත් වේ. ඔහු හෝ ඇය නිවස වෙත ආකර්ෂණය වීමට හෝ ඉන් දුරස්ථකරණය වීමටද ඔබ ඔහුට හෝ ඇයට පිළිගන්වන තේ කෝප්පයේ සීනි හැඳි ගානට වඩා ඔවුන් රැඳී සිටින අවකාශයේ ජීවගුණය වැදගත් වන බව සිත්හි තබා ගන්න.

නිවසක නිර්මාණකරණය ගැන සිතන විටත්, නිවසක අලංකාරය පිළිබඳ කතාබහ කරන විටත් කාන්තා පිරිමි භේදයකින් තොරව කොයි කාගේත් උනන්දුව ඇති කරවන්නේ  එම නිවසේ සාලය පිළිබඳවය. සාමාන්‍යයෙන් නිවසේ ප්‍රධාන අවකාශය ලෙස විශේෂ වන සාලය නිවැසියන්ගේ භාවිතයටත් වඩා අමුත්තන් පිනවන ස්ථානය වීම නිසාම නිවසේ වැඩිම අලංකාරයක් දනවන ස්ථානය වීම පුදුමයට කරුණක් නොවේ.

පැරණි නිවාස ආකෘතියට වඩා නවීන නිවාස සංකල්ප තුළ සාලයේ අවකාශීය විශාලත්වය, අලංකාරය සේම සාලය පිහිටන ස්ථානය පවා සැලකිය යුතු තරමේ වෙනස්කම් රැසකට ලක්ව තිබේ. උදාහරණයක් ලෙස පැරණි නිවසක ප්‍රධාන දොරෙන් ප්‍රථමයෙන් ඇතුළු වන්නේ සාලයට වුවද, වර්තමානයේ නිර්මාණය වන නිවසක සාලය නිවසේ පිටුපස කෙළවරේම නිර්මාණය වීමටද පුළුවන. ඊට බොහෝ විට හේතු වන්නේ ප්‍රධාන මාර්ග ආසන්නයේ ඇති නිවසක මිදුල හෝ ගෙවත්ත ඇතැම් විට නිවසේ පිටුපස කොටසේ නිර්මාණය වීමය.
අනෙක් සෑම අවකාශයකටම වඩා සාලය බොහෝවිට නිදහස්කාමී අවකාශයක් වේ. නිවසේ සුඛෝපභෝගීත්වය, චමත්කාරය වැනි ගුණාංග සාලය තුළින් පෙන්වන අතරම නිදහස අත්විඳිය  හැකි සහ විවේකය ගතකළ හැකි හොඳම ස්ථානය තම නිවසේ සාලය වීම තුළ අප නිවස සමග ඇති කරගන්නා බැඳීම වැඩි වේ.

ඒ නිසා අලංකාරය තරමටම සාලයේ අවකාශීය විශාලත්වය අමුත්තන් එහි රැඳී සිටීමට සේම ඉන් දුරස්ථ කරවීමටත් බලපායි. වර්තමානයේ නිර්මාණය වන බොහෝ නිවාස තට්ටු වශයෙන් ඉහළට ව්‍යාප්ත වන බැවින් පහත මහලේ නිර්මාණය වන සාලය මහල් දෙකක් යාවන ‘double height space’ ලෙස නිර්මාණය වීම ජනප්‍රිය අංගයකි. එමගින් පෙර කී ලෙස අවකාශීය විශාලත්වය වැඩි වන අතර, නිවස පිළිබඳ යම් සුඛෝපභෝගී, මහේශාක්‍ය ගුණයක් ඇති කෙරේ.

ඒ අතරම නිවසේ සමස්ත අනන්‍යතාව ප්‍රදර්ශනය කරවීමට සාලයේ භාවිතා වන වර්ණ රටා, ගෘහ භාණ්ඩ හා සැරසිලි බොහෝ සේ බලපායි. ‘අල්පේච්ඡතාව’  (minimalism) ජනප්‍රිය රැල්ලක් වී ඇති මේ යුගයේ කෙතරම් මූල්‍ය ශක්තියක් ඇති නිවසකට පවා බොහෝ අලංකරණ විධි එක්කරනවාට වඩා, අවම ගෘහ අලංකරණ විධි තුළින් සාලයේ අවකාශීය ගුණය මිනිස් ජීවිතයකට ප්‍රිය උපදවන ස්ථානයක් කරගැනීම නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ උත්සාහය වී තිබේ.

වරලත් වාස්තු විද්‍යාඥ මාධව ප්‍රේමරත්න මහතා විසින් නිර්මාණය කරන ලද විවිධාකාර නිවාස ආකෘති කිහිපයක සාලය නිර්මාණය කර ඇති ආකාරය මෙහි ප්‍රදර්ශනය කෙරේ. නිර්මාණකරුවෙකු විවිධ රුචි අරුචිකම් ඇති අයට  නිර්මාණකරණයෙන් දක්වන සුවිශේෂතා හරහා සාලය නමැති අවකාශය කෙතරම් විවිධාකාරයෙන් නිර්මාණය කරගත හැකිද යන්න මෙහිදී ඔබට පසක් වනු ඇත.

සටහන සහ ඡායාරූප - මාලක වැලිගොඩපොල 

මෙම නිවසේ සාලය නිම වීමේදී පොළොව සහ වහලය සඳහා කළු වර්ණය භාවිත කිරීම සාපේක්ෂව වෙනස් අත්දැකීමක් එක් කරයි. එනිසා අනෙක් අවකාශවලට වඩා සාලය අඳුරු බවක් ගන්නා නමුත් එය සාමාන්‍ය තත්ත්වය අතික්‍රමණය කළ අනන්‍යතාවක් ඉස්මතු කරයි​

සාලය ප්‍රධාන දොරටුවට ඈතින්, නිවසේ පිටුපසට වන්නට නිර්මාණය කළ අවස්ථාවක්. මෙහි අනෙක් අවකාශයන්ට වඩා අඳුරු තද වර්ණවලින් සාලය අලංකාර කර තිබේ.

Split levels හෙවත් තලවලට බෙදුණු නිවසක සාලය  අනෙක් අවකාශවලට වඩා පහළින් පිහිටා තිබේ

සමස්ත අවකාශයම සුදු වර්ණයෙන් අලංකාර කළ නිවසක්.  සාලය සඳහා භාවිතා කර ඇති ගෘහ අලංකරණය තුළ දක්නට ඇති minimalistic ගුණය මගින් අවකාශීය විශාලත්වය කැපී පෙන්වයි

නිවසේ ප්‍රධාන දොරටුව ආසන්නයෙන්ම සාලය නිර්මාණය කර ඇති මෙම නිවස මහල් වශයෙන් ඉහළට යන නිසා එහි සාලය double height space එකක් ලෙස නිර්මාණය කරගෙන තිබේ

 සාලය සඳහා භාවිත කෙරෙන ගෘහ භාණ්ඩවල නිමාව එහි සමස්ත අවකාශයේ සුසාධිත ගුණ පෙන්වයි. ජනප්‍රිය ගෘහ භාණ්ඩවලට වඩා එම අවකාශය වෙනුවෙන්ම ගෘහ භාණ්ඩ නිර්මාණය කර ගැනීමෙන් ඒ වෙනස අලංකාරයක් බවට පත්වේ

මෙම නිවසේද සාලය ප්‍රධාන දොරටුවට වඩා ඈතින් පිහිටා තිබේ.  මෙහිදී විචිත්‍ර වර්ණයන්ගෙන් යුත් අලංකරණ විධි අවකාශයේ ත්‍රිමාණ ගුණ උද්දීපනය කර ගැනීමට භාවිත කර තිබේ

සාලයේ  නිදහස්කාමී බව තීව්‍ර කර ගැනීම සඳහා වීදුරුවලින් ආවරණය වීමෙන් ගෙවත්ත සහ සාලය අතර ඇති සම්බන්ධය වඩා හොඳින් ප්‍රදර්ශනය වේ.

 

 

0 comments

Leave a Reply

Post Comment